හැඳින්වීම

ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශය වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ විශේෂඥ සේවා අංශයකි. ශ්‍රී ලංකාවේ ජල-කාලගුණික දත්ත හා තොරතුරු එක්රැස් කිරීම හා යාවත්කාලීන කිරීම මෙම අංශය සතු ප්‍රධාන වගකීම වේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුව පිහිටුවීමෙන් අනතුරුව 1935 වර්ෂයේදී වෙනම අංශයක් ලෙස මෙම අංශය ස්ථාපනය කර ඇත. කෙසේ වුවද, ප්‍රධාන ගංඟාවල ජල-කාලගුණික දත්ත එක් රැස් කිරීම මීට දශකයකට පමණ පෙර ආරම්භ කර ඇත. කැලණි ගඟේ නාගලගම්වීදිය ජල මාපකය 1924 වර්ෂයේ සිටම ක්‍රියාත්මක තත්වයේ පවතී. මෙම අංශයේ ප්‍රධාන කාර්යය වශයෙන් ගංඟා පද්ධතීන්හි අඛණ්ඩව ජල මට්ටම් ගැනීම සිදු කරනු ලබන අතර මීට අමතරව බොහොමයක් ගංඟා ආශ්‍රිතව වර්ෂාපතන මිනුම් ද ස්ථාන කිහිපයක සුළඟේ වේගය, වාතයේ අර්ද්‍රතාවය, උෂ්ණත්වය වැනි දත්ත ද ලබා ගැනීම සිදුකෙරේ. නිත්‍ය ජල මිනුම් ලබා ගැනීමේ ස්ථාන 42ක්, පර්යන්ත ජල මිනුම් ස්ථාන 66ක් හා ස්වයංක්‍රිය ජල මිනුම් ස්ථාන 106ක් මෙම අංශය මඟින් පාලනය කරනු ලබයි. එයට අමතරව වෙනත් ආයතන මඟින් පාලනය කරනු ලබන වර්ෂාපතනය හා කාලගුණික දත්ත එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන වෙතින් මාස 6කට වරක් දත්ත ලබා ගැනීම සිදු කරයි. වර්තමානයේ මෙම අංශය, වාරිමාර්ග අධ්‍යක්ෂවරයෙකුගේ ප්‍රධානත්වයෙන් ප්‍රධාන ඉංජිනේරුවරයෙකුගෙන්ද, වාරිමාර්ග ඉංජිනේරුවන් තුන් දෙනෙකුගෙන්ද, භූ සම්පත් ඉංජිනේරුවරයෙකුගෙන්ද, ජල විද්‍යා දත්ත අධිකාරීවරයෙකු (HDS), ජල විද්‍යා ක්ෂේත්‍ර අධිකාරීවරයෙකුගෙන්ද, ජල විද්‍යා සහයකවරුන් දස දෙනෙකුගෙන්ද, ජල විද්‍යා ක්ෂේත්‍ර සහයකයින් 28 දෙනෙකුගෙන්ද, සැලසුම් ශිල්පීන් දෙදෙනෙකුගෙන්ද, සංවර්ධන නිලධාරියෙකුගෙන්ද, කළමනාකරණ සේවා නිලධාරීන් දෙදෙනෙකුගෙන්ද, ගබඩා භාර නිලධාරියෙකුගෙන්ද, රියදුරන් 6 දෙනෙකුගෙන්ද (තාවකාලික පදනම මත ලබා ගත් රියදුරන් ද ඇතුලුව), කාර්යාල කාර්ය සහායකයෙකුගෙන්ද  මෙන්ම ජලවිද්‍යා  මිනුම් සහායකවරුන් 85 දෙනෙකුගෙන් සමන්විත වේ. මීට අමතරව කොන්ත්‍රාත් පදනම යටතේ කම්කරුවන් 45 දෙනෙකු ජලවිද්‍යා දත්ත එක්රැස් කරන්නන්ගේ කාර්යන් ආවරණය කරමින් මෙම අංශය යටතේ රාජකාරි සිදු කරනු ලබයි.

අරමුණු

මෙම අංශයට අනන්‍ය වූ අරමුණු පහත දැක්වේ.

  1. ජලවිද්‍යා දත්ත එක්රැස් කිරීම සහ කළමනාකරණය.
  2. ජලවිද්‍යා දත්ත විශ්ලේෂණය.
  3. ගංවතුර අවදානම් පුරෝකතනය හා පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කිරීම.
  4. වඩා ඵලදායී ආපදා කළමනාකරණයක් උදෙසා ආපදා කළමනාකරණය සිදු කරනු ලබන අනෙකුත් ආයතන සහ අධිකාරීන් සමඟ ඵලදායී සම්බන්ධීකරණයක් පවත්වා ගෙන යාම.

කාර්යයන්

  1. දිවයින පුරා ජල- කාලගුණික දත්ත සහ තොරතුරු එක්රැස් කිරීම.
  2. එසේ එක්රැස් කරනු ලබන දත්ත ලේඛනගත කිරීම, ගබඩා කිරීම සහ අවශ්‍ය පරිදි බෙදා හැරීම. මෙම දත්ත වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල සම්පත් සැලසුම්කරණය සහ කළමනාකරණය සඳහා භාවිතා කරනු ලබන අතර ඊට අමතරව පානීය ජලය සැපයීම හා කර්මාන්ත සඳහා ජල සැපයීම සහ ගංවතුර කළමනාකරණයට මෙන්ම අධ්‍යයන හා පර්යේෂණ කටයුතු සඳහාද විවිධ ආයතනයන්, වෘත්තිකයන් සහ ශිෂ්‍යයන් විසින් භාවිතා කරනු ලැබේ.
  1. දිවයින පුරා පිහිටුවා ඇති ජලවිද්‍යා මිනුම් ස්ථානවලට අදාල වන ප්‍රතිපායන වක්‍ර නිර්මාණය හා යාවත්කාලීන කිරීම (ස්ථිර සහ පර්යන්ත මිනුම් ස්ථාන ද ඇතුලත්ව).
  2. ජල-කාලගුණික දත්ත පිරි සැකැස්ම සහ ඒවා ප්‍රයෝජනවත් තොරතුරු ලෙස ප්‍රතිනිර්මාණය කිරීම.
  3. වාරිමාර්ග ඇලවේලි සඳහා ප්‍රතිපායන වක්‍ර නිර්මාණය කිරීම.
  4. පුර්ව ගංවතුර අනතුරු ඇඟවීම් සහ පුරෝකතනයන් සඳහා ගංවතුර ගැලීම් ආකෘති නිර්මාණය හා සංවර්ධනය.
  5. ප්‍රධාන ගංගා ද්‍රෝණි සඳහා ගංවතුර සිතියම් සකස් කිරීම.
  6. වාර්ෂික ජලවිද්‍යා දත්ත සඟරාව ප්‍රකාශයට පත් කිරීම.
  7. ලංකාවේ ප්‍රධාන ගංගා ද්‍රෝණින් සඳහා ගංවතුර නිරීක්ෂණය කිරීම සහ අනතුරු ඇඟවීම් නිකුත් කිරීම.

පුර්ව ගංවතුර ආපදා අනතුරු ඇඟවීම්

ගංවතුර ගැලීම් නිරීක්‍ෂණය සහ අවශ්‍ය පරිදි පූර්ව ගංවතුර අනතුරු ඇඟවීම් වර්ෂයේ ඕනෑම දිනක ඕනෑම වේලාවක නිකුත් කිරීම සඳහා සූදානමින් සිටීම මෙම අංශය සතු වැදගත් කාර්යයක් වේ. සෑම ගංවතුර ගැලීමක් සඳහාම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) සහ සාමාන්‍ය මහජනතාව ද ඇතුළුව වගකිවයුතු ආයතන වෙත අනතුරු ඇඟවීම් නිකුත් කරනු ලබයි. මෙම අනතුරු ඇඟවීම් නිරවද්‍යව සහ ගංවතුර ඇතිවීමට සැළකිය යුතු කාලයකට පෙර ලබාදීම පිළිබඳව අතීත වාර්තා සාක්ෂි දරයි. සාමාන්‍යයෙන් පූර්ව ගංවතුර අනතුරු ඇඟවීම් මඟින් දේපල හානි මෙන්ම මිනිස් ජීවිත ද විශාල ලෙස ආරක්ෂා කරගත හැකිය. ආසන්නතම සිදුව්ම ලෙස 2021 වර්ෂයේ සිදුවූ ගංවතුර ගැලීම වෙනුවෙන් නිකුත් කරන ලද පූර්ව අනතුරු ඇඟවීම් නිවේදනයන්හි කාර්යක්ෂමතාව සහ නිරවද්‍යතාව පහත ප්‍රස්ථාරය මඟින් නිරූපණය කරයි.

Figure1: Flood Warning Issed for Kelani Basin

 

 Figure2: Flood Warning Issed for Mahaoya Basin

 

ප්‍රතිපායන වක්‍ර නිර්මාණය සිදු කිරීම

ගංඟාවල විසර්ජන මිනුම් ලබාගැනීම මෙම අංශයේ ප්‍රධාන වගකීම් වලින් එකකි. මේ සඳහා අංශය සතු විවිධ විසර්ජනමාන යොදවා ගැනේ. විවිධ මට්ටම්වලදී ජල විසර්ජනය නිර්ණය කර ගැනීම සඳහා ප්‍රතිපායන වක්‍ර නිර්මාණය කර ගැනීම මෙම ක්‍රියාවලියේ ප්‍රධාන අභිප්‍රාය වේ. වඩා ඵලදායී මෙන්ම ඉතා නිරවද්‍ය වූ ප්‍රතිපායන වක්‍රයක් නිර්මාණය සඳහා පෙර කී මිනුම් ගැනීම් විවිධ ජල මට්ටම් වලින් ලබාගැනීම අනිවාර්ය වේ.

Figure 3: ජලවිද්‍යා ක්ෂේත්‍ර සහකාරවරුන් ජල මිනුම් සහායකයින්ගේ සහයෝගය ඇතිව ජල විසර්ජන මිනුම් ලබා ගැනීම

 

ජලවිද්‍යා කාලගුණික දත්ත තොරතුරු පද්ධතිය (HMIS)

මෙම අංශය මඟින් නඩත්තු කරනු ලබන ස්ථීර සහ පර්යන්ත ජල මිනුම් ස්ථානවලට අමතරව ස්වංයක්‍රීය ජල මිනුම් ස්ථාන 106ක් අධීක්ෂණය කිරීම සහ නඩත්තු කිරීම ද සිදු කෙරේ. මෙමඟින් රැස්කරගන්නා දත්ත ස්වයංක්‍රීයව තොරතුරු පද්ධතිය වෙත සම්ප්‍රේශනය වන අතර ඉංජිනේරුවන් සහ තාක්ෂණික කාර්යමණ්ඩලය මෙම උපකරණවල තත්වය සොයා බැලීම, නඩත්තු කිරීම සහ පරීක්ෂා කිරීමට සහ සම්ප්‍රේශනය කරනු ලබන දත්ත වල නිරවද්‍යතාවය තහවුරු කිරීම සඳහා යම් නිශ්චිත කාලාන්තර වලදී ක්ෂේත්‍රය වෙත යාම සිදුකරයි. මෙම ස්ථාන ගංඟාවල වැදගත් ස්ථානයන්හි ස්ථාපනය කර ඇත. එමඟින් ලබාගනු ලබන දත්ත විනාඩි 10 කට වරක් පද්ධතිය වෙත සම්ප්‍රේශනය කරනු ලබයි. එම දත්ත ගංවතුර ගැලීම සිදුවන කාලයේදී ඉතා වැදගත් කාර්යක් සිදුකරනු ලබන අතර ගංවතුර පුරෝකතනයන් සඳහා ජලවිද්‍යා ආකෘති නිර්මාණය කිරීමද දායක වේ. එසේ ලබා ගන්නා ලද දත්ත පරිශීලක අතුරු මුහුණතෙහි නිරුපණය කරන ලද ආකරය පහත රෑපයේ දක්වා ඇත. කෙසේ වුවද, දත්ත පද්ධතියේ ආරක්ෂාව සහ එහි ධාරිතාවය පදනම් කරගෙන මෙම දත්ත පද්ධතියට පිවිසීම සඳහා අදාළ රාජ්‍ය ආයතනයන්ට පමණක් සීමා කර ඇත.

 

 

අර්ධ ස්වයංක්‍රීය තොරතුරු පද්ධතිය (SAIS)

ඉහත සඳහන් කළ පරිදි ස්ථීර ජල මිනුම් ස්ථාන 42 මඟින් පැයකට වරක් ගඟේ ජල මට්ටම සහ වර්ෂාපතන මිනුම් එක්රැස් කරනු ලබයි. මෙම ස්ථාන වලින් කිහිපයක් ජල මිනුම් වලට අමතරව කාලගුණික දත්ත ලබාගන්නා ස්ථාන ලෙස සංවර්ධනය කර ඇත. මෙම ස්ථාන 42හිම පැය 24 ම සහ සතියේ දින 7 ම ආවරණය වන පරිදි ජලවිද්‍යා මිනුම් සහායකයින් රාජකාරි ආවරණය සිදුකරනු ලබයි. ජලවිද්‍යා ක්ෂේත්‍ර නිලධාරීන් මෙම ස්ථානයන්හි අධීක්ෂණ නිලධාරීන් ලෙස පත් කර ඇති අතර ඔවුන් නිරන්තරයෙන් මෙම ස්ථාන නඩත්තු කිරීම සහ දත්ත වල ගුණාත්මක භාවය පරික්ෂා කරනු ලබයි. මෑත කාලයේදී, ගංඟාවල ජල මට්ටම් සහ වර්ෂාපතනය දුරස්ථව පරික්ෂා කිරීම සඳහා මෙම අර්ධ ස්වයංක්‍රීය තොරතුරු පද්ධතිය හඳුන්වා දෙන ලදී. මහජනතාව සඳහා ද මෙම අතුරු මුහුණට දවසේ ඕනෑම වේලාවකදී ප්‍රවේශ වීම සඳහා අවස්ථාව සලසා දී ඇත. පහතින් දක්වා ඇති වෙබ් අඩවි සබැඳිය මඟින් ඒ වෙත ප්‍රවිශ්ඨවීමට හැකියාව ඇත.

https://www.arcgis.com/apps/dashboards/2cffe83c9ff5497d97375498bdf3ff38.  

තවද, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවි මුහුණුතේ ඇති “Real Time Water Levels in Major Rivers” යන වෙබ් අඩවි සබැඳිය හරහාද ඔබට ඊට ප්‍රවේශ විය හැක. එම අතුරු මුහුණතේ තොරතුරු නිරූපණය කරන පින්තූරයක් පහතින් ද දක්වා ඇත.

 

මීට අමතරව 2021 වර්ෂයේ දී ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශය මඟින් ඉටුකර ඇති කැපීපෙනෙන  කාර්‍යයන් පහළින් දක්වා ඇත. එම සියලු කාර්යයන් කොවිඩ් 19 වසංගත කාලසීමාව අතරතුර වුවද සාර්ථකව නිමකිරීමට හැකිවිය.

  1. 1988 සිට මේවන තෙක් යාවත්කාලීන කර නොමැති Intensity-Duration-Frequency (IDF) වක්‍ර ශ්‍රී ලංකාවම ආවරණය වන පරිදි යාවත්කාලීන කිරීම, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ තාක්ෂණික මාර්ගෝපදේශ යාවත්කාලීන කිරීමට අනුකූලව සිදු කරන ලදී. එහි අවසාන ප්‍රතිඵලය ලෙස අලුතින් කලාප වර්ගීකරණය කරන ලද අතර කලාප 11ක් හඳුනා ගන්නා ලදී.
  1. යල සහ මහ කන්නය සඳහා වෙන් වෙන් වශයෙන් ISO–Yield වක්‍ර ප්‍රස්ථාර යාවත්කාලීන කිරීම.
  1. මේ දක්වා දිවයින සඳහාම පැවතුන 75% සම්භාවිතාව ඇති වර්ෂාපතන අගයන් (75% Probability Rainfall) වර්ෂ 1980 දශකයේ ගණනය කරන ලද අගයන් වේ. එබැවින් කාලගුණික විපර්යාස හෝ වෙනත් හේතුමත සිදුවී ඇති වර්ෂාපතන වෙනස්කම් එමඟින් නිරූපණය නොවේ. එබැවින් දිවයින පුරා වර්ෂාපතන මිනුම් ගන්නා ස්ථාන 281ක (මෙයින් බොහෝමයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්ථාන වේ) දිගුකාලීන දත්ත උපයෝගී කරගෙන දිවයිනේ සියළුම කෘෂි කාලගුණික කලාප සඳහා 75% සම්භාවිතාවය සහිත අගයන් මාසිකව ගණනය කර තාක්ෂණික මාර්ගෝපදේශ සංග්‍රහය යාවත්කාලීන කිරීම සඳහා භාරදෙන ලදී.
  1. ජල මිනුම් ස්ථාන පහළොවක් සඳහා ජල පෝෂක පරාමිතීන් (Cp සහ Ct) ගණනය කර තාක්ෂණික මාර්ගෝපදේශ සංග්‍රහය යාවත්කාලීන කිරීම සඳහා භාරදෙන ලදී.

සම්බන්ධ කරගැනීම සඳහා :-

ජල විද්‍යාත්මක දත්ත විමසීම් සඳහා        :- This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

පරිපාලනය සහ ටෙන්ඩර් අරමුණු සඳහා  :- This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

 

අංශ ප්‍රධානී

Eng SPC Sugeeshwara
ඉංජිනේරු එස්.පී.සී. සුගීශ්වර
වාරිමාර්ග අධ්‍යක්ෂ (ජලවිද්‍යා)
+94-11-2581636
+94-71-8566923
+94-11-2581636
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.